Tuesday, January 10, 2017

සැළලිහිණි සන්දේශය පිළිබද කෙටි විස්තරයක්...

සැළලිහිණි සන්දේශය

ද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ ද එයිනුදු සන්දේශ කාව්‍යකරණයේ ක්ෂේම භූමිය වූ ද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ රචනා වූ උසස්තම සන්දේශ කාව්‍යය පමණක් නො ව සිංහල සන්දේශ කාව්‍යාවලියේ අග්‍රගණ්‍ය නිර්මාණය සේ ද ගැනෙන්නේ සැළලිහිණි සන්දේශය යි. ග්‍රන්ථ නාමයෙන් ම කියැවෙන පරිදි සැළලිහිණි පක්ෂියා මේ සන්දේශයට උපයෝගී කොට ගත් දූතයා විය.
මේ සන්දේශය ලියැවුණු වර්ෂය ගැන ග්‍රන්ථාවසාන කවිවල පැහැදිලි ව කියැවෙන්නේ පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස, මනරම් කර බඳුකු මෙහසුන් නො වී ලසයනුවෙනි. මේ වර්ෂය ශ්‍රී පරාක්‍රමබාහු මහරජුගේ රාජ්‍යෝදයෙන් තිස්පස් වැන්න වී නම් මේ වන විට රජතුමා වයස අවුරුදු පනස්පහට ආසන්න ව සිටියා විය යුතු ය.
මෙහි කතුවරයාණන් ගැන පැවැසෙන්නේ කඳවුරු කුල මැඳුරු මිණි පහනෙව් සුසැදී ... රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදියනුවෙනි. කෝට්ටේ යුගයේ සුප්‍රකට ව පැවැති තොටගමුවේ විජයබා පිරිවෙන්හි අධිපති ව වැඩ විසූ කඳවුරු කුල හිමිපාණෝ යනු ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේ මේ වන විට පිරිවෙන්පති පදවියේ මෙන් ම රාජගුරු පදවියේ ද සිටි බැව් මෙයින් අනාවරණය වන හෙයින් මෙය උන්වහන්සේ දැනුමෙන් ද වයසින් ද මුහුකුරා ගොස් සිටි අවධිය බව පැහැදිලි ය.
ශ්‍රී පරාක්‍රමබාහු මහරජුගේ බාල දියණිය වූත් නන්නුරුතුනයා මැති නම් වූ රාජ්‍ය නිලධාරියාගේ දේවිය වූත් උලකුඩය කුමරියට පුත් රුවණක් ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවිඳුන්ගෙන් අයැද සිටීම සැළලිහිණි සන්දේශයේ පරමාර්ථය යි. මෙයට පෙර ශ්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලද්දේ රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු සහ පුත්‍රයෙකු ලබා දෙනු පිණිස දෙවියන් යැදීම උදෙසා ය. මේ සන්දේශ දෙකේ අභිප්‍රායයන් හා කාල වකවානු ගැන සලකා බලද්දී මේ දූ කුමරියන් දෙදෙනා අතර සැලකිය යුතු වයස් පරතරයක් තිබූ බැව් සිතිය හැකි ය.
සැළලිහිණිය කවි 108කින් සමන්විත ය. කතුවරයාණන් විසින් පසු ව එකතු කරන ලද මෙහි අගට එන කවි තුන ද සමඟ මුළු කවි ගණන 111ක් යැයි ගත හැකි ය. ඒ අනුව සැළලිහිණිය අනෙකුත් සිංහල සංදේශ කාව්‍ය අතුරෙහි ප්‍රමාණයෙන් කුඩා සංදේශය වේ. ආරම්භයේසැරද සුලකල කුරු...යනුවෙන් ගී විරිතෙන් එන ආසිරි පද්‍යයත් ඉන්පසු ව පැවැසෙන දසපද සැහැල්ලත් හැරුණු විට අනෙක් කව් සියල්ල ම සමුද්‍රඝෝෂ විරිතෙන් ප්‍රබන්ධය වී තිබේ. අග එළිවැට ලෙසින් ම මුල එළිවැටක් ද රැකීම නිරන්තර ව සිදු කොට ඇති අතර මුල එළිවැට රහිත කව් දෙක තුනක් පමණක් දැකිය හැකි ය.
සැළලිහිණි දූතයාගේ ගමන යෙදී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට කැලණිය දක්වා ය. එබැවින් එය ඉතා ම කෙටි ගමන් මාර්ගයකි. සිංහල සන්දේශාවලියේ කෙටි ම මඟක් ගෙවා රැගෙන යන සන්දේශය සැළලිහිණිය යි. මේ දූතයා අතරමඟ දී නතර වනුයේ ද එක් රාත්‍රී කාලයක් පමණි. එසේ සිදුවන්නේ ද ගමන සවස් භාගයක ආරම්භ කරන බැවිනි.සඳේ මුදුන් වන අස්විද නැකත සිට.. යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපටයැයි කියැවෙන පරිදි සන්ධ්‍යා භාගයේ මේ සඳහා සුදුසු නැකතක් ද යොදාගෙන ඇති බැව් පෙනේ. එපමණක් නො ව බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩියන්නෙන් සුබා සුබ නිමිති පිළිබඳ විශ්වාසය ද මෙහි දී තහවුරු කෙරේ. එසේ වුව ද ඒ ආරම්භයත් සමඟ වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳීයනුවෙන් මහත් භක්තියෙන් යුක්ත ව බුද්ධ වන්දනයෙහි යෙදේ.
ජයවර්ධනපුර අග නගරය වර්ණනා කිරීම උදෙසා කවි හත අටක් ම වැය කරන කතුවරයා රාජවර්ණනය කවි එක දෙකකින් ම සම්පූර්ණ කරනු දැකිය හැකි ය. අනෙකුත් සන්දේශවල රජු වෙනුවෙන් කවි ගණනාවක් ප්‍රශස්ති ලීලාවෙන් රචනා වී ඇතත් ඒ කාර්යය ඉතා කෙටියෙන් වුවත් නො මඳ ව ඉටු කිරීමට සමත් වන කතුවරයා වහා සිය ප්‍රස්තුතය කරා එළඹේ. ඒ, දූතයා එසැණින් ම ගමන්මඟට යොමු කරමිනි. කොන්තගංතොට පසු කරන දූතයා ඒ රෑ ඉසුරු කෝවිලේ ලැග පසුදා අලුයම ගමන් අරඹද්දී ඔහුට පෙනෙන දෑ සඳහන් කරමින් තත්කාලීන ව අතිශයින් වැදගත් වූ ඓතිහාසික පුවතක් ද සනිටුහන් කිරීමට කතුවරයාණෝ අමතක නොකරති.
සැළලිහිණියාගේ ඉදිරි ගමන්මඟට කයිකාවල, වල්අම්බලම, සුමුටාන, ගුරුබැවුල, ගුරුළුකෙත, වෙළෙඳගොඩ, කිත්සිරිමෙවන් වෙහෙර, කැලණි ගඟ, මස්කෙළිය, කැලණිය යන ස්ථාන පිළිවෙළින් අයත් වේ. කැලණි ගඟේ දී දියකෙළි වැනුමක් කිරීමට නො පෙලැඹී ඒ ගැන සැකැවින් පවසන කතුවරයා නො පමා ව ගමන් මඟට පිවිසීම ද මෙහි විශේෂිත ව දැකිය හැකි ලක්ෂණයකි. ඒ වන විට කෘතියේ හරි අඩක් එකී සියලු දෑ සඳහා යොදවා ඇති කතුවරයා ඉතිරි අඩ සිය ප්‍රස්තුත කාර්යය උදෙසා ක්‍රමවත් විලාසයකින් මෙහෙයවනු දකින්නට පිළිවන.
කැලණිපුර සිරි නැරැඹීමෙන් අනතුරුව කැලණි විහාරයට පිවිස සිත්සේ වැඳ පුදා ගැනීමට කතුවරයා සැළලිහිණියාට අවස්ථාව සලසා දේ. එහි දී විහාරයෙහි පැවැති ලංකාතිලක මහා පිළිමය, සෙල් පිළිමය, වටදාගෙහි දාගැබ, වැදහොත් පිළිමය, මහදාගැබ, නා පිළිමගෙය, සමාධි පිළිමය, තිවංක දෙපිළිමය, සිවුරු දාගැබ, බෝධීන් වහන්සේ, පිළිම හිටි ආදී ස්ථාන වෙන වෙන ම වර්ණනා කරමින් දූතයා ලවා වන්දනා කරවනුයේ මහත් ශ්‍රද්ධා භක්තියක් දනවමිනි. මෙයින් වැදගත් තොරතුරු රාශියක් ප්‍රකට කරවන්නා සේ ම කතුවරයාණෝ භක්ති කාව්‍ය ස්වරූපයක් ද විද්‍යාමාන කරති.
විභීෂණ දේවාලය වර්ණනා කිරීමේ දී කතුවරයා නළඟන රැඟුමක් වෙත දූතයා යොමු කරවන නමුදු කවි හතරකට පමණක් සීමා වන එය වෙනත් නැටුම් වර්ණනයක දී මෙන් විරිත වෙනස් කරමින් කරන ප්‍රබන්ධයක් නො වේ. අඛණ්ඩ ව ආ සමුද්‍රඝෝෂ වෘත්තයෙන් ම ඒ කව් ද ලියැවී ඇති මුත් එයින් රංගන ස්වරූපය නො මඳ ව පළ කිරීමට කතුවරයාණන් සමත් වන අයුරු මෙසේ දැකිය හැකි ය.
 
විදෙන ලෙළෙන නරුබර පුළුලුකුළ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
මෙසේ වූ පද ලාලිත්‍යය මේ කෘතිය පුරා ම දිවෙන සුන්දරත්වයට හේතු සාධක වේ. රළු මෙන් ම මෘදු අක්ෂර උචිත පරිදි යොදමින් අනුප්‍රාස ගුණයෙන් ද ශ්‍රැති ගෝචර භාවයෙන් ද මටසිලිටි පද බාවිතයෙන් ද රචිත සැළලිහිණි සන්දේශය කතු හිමියන්ගේ බහුශ්‍රැත දැනුමත් පිරිපුන් කවීත්වයත් මැනැවින් ප්‍රකට කරලයි. භාෂාව රිසි රිසි ලෙසින් අර්ථ හා ශබ්දාලංකාර මවනු පිණිස වහල් කොට ගන්නා අයුරු මේ ප්‍රබන්ධයෙහි දක්නට ලැබෙන විශේෂ ගුණයකි. කතුවරයා ෂඩ්භාෂා පරමේශ්වර පඬිවරයෙකු වූවත් සංස්කෘත සාහිත්‍යයේ උපමාලංකාර ආදියට ගැති නො වී නිදහස් පිළිවෙතක පිහිටා රචිත කවි බොහොමයක් මෙහි දැකිය හැකි වේ.
ඓතිහාසික වශයෙන් වැදගත් වූ තොරතුරු රාශියක් ද සැළලිහිණියෙන් අනාවරණය වනු දකින්නට පිළිවන. යාපාපටුන ජයගැනීම ගැන පමණක් නො ව වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳී, කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින, පෙනේ දකුණැ මහසෙන් දෙව්රද පාය, වල්අම්බලම දැක යාගන් සහතොසිනී, කළ මුළු ලක්දිව එක සේසත් සෙවණ, ආදී වශයෙන් වූ අගනා පුවත් මෙයින් හෙළිදරව් වේ. එකී තත්කාලීන තොරතුරු හැරුණු විට තවත් ඉපැරැණි විස්තර මෙහි පැවැසෙන අයුරු මලියදෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ, නිරිඳුන් කැලණියේ නිවරද රහත් තැන, තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු, ආදී වූ තැන්වලින් දැකිය හැකිය.
මේ සන්දේශයෙන් කළ අයැදුම පරිදි උලකුඩය දේවියට උපන් පුත් කුමරා ශ්‍රී පරාක්‍රමබාහු රජු ඇවෑමෙන් 1467 දී දෙවැනි ගජබාහු නමින් රජවිය.
අන්තර්ගත කව් ප්‍රමාණය අනුව කුඩා වූ ද ඉතා කෙටි ගමන් මාර්ගයකින් යුක්ත වූ ද සන්දේශ කාව්‍යය වූවත් සැළලිහිණිය යනු විවිධාකාරයෙන් විසල් වූ අනෙකුත් සියලු සන්දේශ කාව්‍ය අබිබවා ගුණාත්මක භාවයෙන් ද රසවත් භාවයෙන් ද ප්‍රමුඛත්වය ගන්නා සිංහල සන්දේශ අතුරෙහි විශිෂ්ටතම කෘතිය වේ.එසේ ඇගයෙන මේ නිර්මාණය ශ්‍රීී ජයවර්ධනපුර සමයටත් සිංහල සාහිත්‍යයටත් ආලෝකය දෙන විශේෂිත පුස්තකයකි.


1 comment:

  1. Casino Site Review | Lucky Club
    Lucky Club is a Malta luckyclub based casino and sports betting site offering top quality casino games and exclusive rewards to UK players. Join now! Rating: 5 · ‎Review by LuckyClub.live

    ReplyDelete